නීති විරෝධී ආකාරයෙන් විදෙස්ගතවන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් මෙලෙස නොදන්වා සේවා අතහැර යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයකට ලක් වන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය ඊයේ පැවසීය.

මේ වන විටත් රෝහල් රැසක වෛද්‍යවරුන් හා නිර්වින්දන වෛද්‍යවරුන් නොදන්වා සේවය අතහැර ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කර ඇති බවත් හෙතෙම කීය.

වෛද්‍යවරුන්ගේ මේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් නීතියානුකූලව කටයුතු කිරීමට නීතිය තුළ ඕනෑ තරම් අවස්ථාවක් තිබෙන බවත් ඉදිරියේ දී මේ නීති සම්බන්ධයෙන් අවධානය යොමු කර අදාළ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය. කිසිදු රටක රාජ්‍ය සේවකයෙකුට නිසි අවසරයකින් තොරව ඒ රටින් පිටව යාමට අවසර නොමැති නමුත් ලංකාව තුල ඒ තත්වය වෙනස් වී ඇති බව දක්නට හැකි බව ද ඔහු පැවසීය. රට තුළ කුමන ආකාරයක නීති රීති තිබුණද තමා වෛද්‍යවරයකු වශයෙන් කුමන ගිවිසුමකට යටත් වුවද වඩා සදාචාර සම්පන්නව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් සමස්ත ක්ෂේත්‍රයම අර්බුදයකට ලක් කරමින් නොදන්වා සේවයට වාර්තා නොකිරීම බරපතළ තත්ත්වයක් බවත් ඔහු සඳහන් කළේය.

දිවයිනේ මූලික රෝහල් කිහිපයකම නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු අනෙකුත් රෝහල් කාර්ය කාර්ය මණ්ඩලයේ සේවකයන්ගේ හිගය හේතුවෙන් දැඩි අර්බුධකාරී තත්වයක් උද්ගත වී ඇති බවත් රෝහල් රැසක ශල්‍යකර්ම කටයුතු අඩාල වී ඇති බවත් වාර්තා වේ.

මිතුන් ජයවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *