දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ අදහස් ලබා ගැනීමට ඉදිරි සති දෙක තුළ නව කොමිසමක් පත්කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

දේශපාලන පක්ෂ වල අඩුපාඩු ඇතැයි ජනතාව පවසන කරුණ තමන් ද පිළිගන්නා බවත්, ඒ අනුව දේශපාලන පක්ෂ සකස් විය යුතු ආකාරය පිළිබඳව මෙම කොමිසමට ඕනෑම අයකුට අදහස් දැක්විය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

රත්නපුර සීවලි මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලි මේන්තුවේ සාමාජිකයන් සමග ජනාධිපති කාර්යාලයේ පෙරේදා පැවති සාකච්ඡාවක දී හෙතෙම මේ බව කීවේය.

හමුවේ දී ශිෂ්‍යාවක නගන ලද පැනයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම කොමිෂන් සභාවට ශිෂ්‍ය පාර්ලිමේන්තුවල අදහස් හා යෝජනා ලබා දිය හැකි බවත් ඒ සඳහා උනන්දු වන්න යැයි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

විසිඑක් වැනි ශතවර්ෂය ට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම සඳහා දැනට සාකච්ඡා කරගෙන යන බවත් ඒ සදහා විදේශිකයන්ගේ ද උපදෙස් ගනිමින් සිටින බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

තවත් විශ්ව විද්‍යාල දහයක් ආරම්භ කිරීමට තමාගේ අදහසක් තිබෙන බවත් ශිෂ්‍ය ණය පහසුකම් යටතේ සිසුන්ට එම විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබා දෙන බවත් හෙතෙම සඳහන් කළේය.

රැකියාවක් ලබාගත හැකි වන පරිදි තාක්ෂණික විෂයන් එහි උගන්වන බවත්, ඒ අනුව එංගලන්තය, ඇමරිකාව වැනි රටවලට මෙන් තමන් කැමති විෂයක් තෝරා ගැනීමට සිසුන්ට අවස්ථාව ලබාදෙන බවත් වික්‍රමසිංහ මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *