දේශීය ආදායම් පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45කින් සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඊට පක්ෂව ඡන්ද 103 ක් සහ විරුද්ධව ඡන්ද 58ක් ලැබිණි. ඡන්ද විමසීම සිදු වන අවස්ථාවේ මන්ත්‍රීවරු 63 දෙනෙකු සභා ගර්භයේ නොසිටියහ.
ඒ අනුව පනත් කෙටුම්පතට විරුද්ධව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය මෙන්ම විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, ජී එල් පීරිස්, උදේ ගම්මන්පිල, දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරු ඡන්දය ලබා දුන්හ.
මේ අතර ඒ එල් එම් අතාවුල්ලා, අලි සබ්‍රි රහීම්, නිමල් ලන්සා සහ ඒ.එච්.එම් ෆ්වුසි යන මන්ත්‍රීවරුන් පක්ෂව ඡන්දය ලබා දුන්හ. මේ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය නොසිටියහ.
දේශීය ආදායම් පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පෙරේදා සහ ඊයේ යන දෙදින තුළ පැවැත්විණි. එම විවාදය අවසානයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඡන්දයක් අවශ්‍ය බවට ඉල්ලා සිටි අතර ඒ අනුව මෙම ඡන්ද විමසීම සිදු විය. අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන සිදු කර දේශීය ආදායම් පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම ද සම්මත විය.