ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉකුත් දා රැස් වූ අවස්ථාවේදී මහ ලේකම් දයාසිරි ජයසේකර ඉවත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇතැයි වාර්තා වේ.

පක්ෂ සභාපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව මහ ලේකම් දයාසිරි ජයසේකර එම ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මධ්‍යම කාරක සභාව කැඳවා තිබිණි.

එහිදී පක්ෂ සභාපති ඒ සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දක්වා ඇතත් ජේෂ්ඨයන් කිහිපදෙනෙකුම දයාසිරි ජයසේකර යළි පක්ෂයට එක් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කරන්නැයි ඉල්ලූ බව පක්ෂය ජ්‍යෙෂ්ඨයෙක් මව්බිමට පැවසීය.

අධිකරණ නියෝගයක් මත මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2018 වර්ෂයේ සංශෝධිත පක්ෂ ව්‍යවස්ථාව අනුව කටයුතු කරන නිසා ඉකුත්දා පැවැති මධ්‍යම කාරක සභාවට සහභාගි වීම සඳහා අවසර හිමි වී ඇත්තේ පැරණි නිළධාරී මණ්ඩලයේ සාමාජිකයන්ට ය. මේ හේතුවෙන් යම් නොසන්සුන් බවක් ඇති වූ බව ද පක්ෂයේ ජේෂ්ඨයෙක් පැවසීය. පක්ෂ සභාපතිවරයා එම රැස්වීමේදී දයාසිරි ජයසේකරට ඔහුගේ පාර්ශ්වයෙන් කිසිදු කොන්දේසියකින් තොරව පක්ෂයට යළි එක් විය හැකි බවද මහ ලේකම් ධූරය හැර අනෙක් තනතුරකට ඔහු පත්විය හැකි බව ද අවධාරණය කළ බව පැවැසුවේ එයයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් සදහන් කළේය.

සභාපතිවරයා ගෙන ඇති තීරණය මධ්‍යම කාරක සභාවට දැනුම් දීමෙන් අනතුරුව එය අනුමත වූ බවද ඔහු කීය .

එමෙන්ම පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත පත් කිරීම සඳහා පක්ෂ සභාපතිවරයා යෝජනා කර ඇති අතර එය ලසන්ත අලගියවන්න ස්ථිර කළ බවද එම ජේෂ්ඨ සාමාජිකයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *