විවිධ පුද්ගලයන් විසින් ඉල්ලීම් කළද ජලය සිදී ඇති සමනල වැව ජලාශයේ මැණික් ඉල්ලම් සේදීමට අවස්ථාව ලබාදිය නොහැකි බව රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල ඊයේ පැවසීය.

මන්ත්‍රීවරයා එම අදහස් ප්‍රකාශ කළේ සමනලවැව ජලාශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

මෙම අවස්ථාවට සමනලවැව ප්‍රධාන ඉංජිනේරු උදය අබේපිටිය, රත්නපුර මහ දිසාපති වසන්ත ගුණරත්න, බලංගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර, ඉබුල්පේ ප්‍රාදේශීය ලේකම් ගයානි රේණුකා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සාලිය එල්ලාවල මන්ත්‍රිවරයා මෙසේද කීය.

” සමනලවැව ජලාශයේ වසර තිහකට වඩා වැඩි කාලයක් තිස්සේ විශාල ජල කාන්දුවක් සිදු වෙනවා. ඉංජිනේරුවරුන් සහ ඒ පිළිබඳව දැනුම ඇති විශේෂඥයන් සඳහන් කරන්නේ වැව් පතුල හැරීම තුළින් දිය කාන්දුව වැඩි විය හැකි බවයි.

ඊට අමතරව සමනලවැව පිහිටා ඇති ප්‍රදේශය හුණුගල් මිශ්‍ර කලාපයක් වන අතර එම හුණුගල් අතර ඇති උමං ඔස්සේ ජලය ගලා බසිනවා.

ඇතැමුන් පෞද්ගලික වාසි තකා විවිධ ප්‍රකාශ කළ ද සමනලයෝ ජලාශය ජාතියේ සම්පතක් බැවින් එය ආරක්ෂා කරගැනීම ජාතියේ වගකීමක්. සමනලවැව ජලාශයේ දිය කාන්දුව සිදු වන ස්ථානය නිශ්චිත ලෙසම සොයාගෙන ඇති නිසා දැන් එම ජල කාන්දුව වසා දමා එම ජලය මගින් වැඩි විදුලි නිෂ්පාදනයක් මෙරට ලබාදිය යුතුය. ජල කාන්දුවෙන් ගොවීන් බලන්ගොඩ – කල්තොට ගොවි ජනපදය ට ජලය ලබා ගත් අතර එම කාන්දුව වසා දැමීමෙන් පසු ගොවි ජනතාවට අවශ්‍ය ජලය සමනල සමනලවැව ජලාශයෙන් ලබාදීමට විදුලිබල මණ්ඩලය පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා ගොවි ජනතාව බියක් ඇති කර ගත යුතු නැහැ. මහජන නියෝජිතයන් හැටියට අප ඒ වෙනුවෙන් පෙනී සිටිනවා” එහි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේය.

කල්තොට එස් වීරවංශ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *