බෙන්තර ප්‍රදේශයේ පිහිටි අවන්හලකින් මිලදී ගත් බිත්තර රෝල් එක තිබූ බිත්තරේ ප්ලාස්ටික් හෝ රබර් වලට සමාන අසාමාන්‍ය එකක් බවට පාරිභෝගිකයෙකු විසින් දුරකථනය මගින් කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදු කරන පුවතක් බෙන්තර සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් වාර්තා වේ. අලුත්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කරන බව සඳහන් වේ. පැමිණිලිකරු තවත් අයකු සමග ඊයේ පස්වරුවේ බෙන්තොට පිහිටි අවන්හලකට ගොස් බිත්තර රෝල් එකක්, බනිස් ගෙඩියක්, මාළු චයිනීස් රෝල් එකක්, එළවළු රොටියක්, වතුර බෝතලයක්, බීම් බෝතලයක් සහ නෙස්කැෆේ එකක් රුපියල් 1230 ක් ගෙවා මිලදී ගෙන ඇති අතර, බිත්තර රෝල් එකෙහි වටිනාකම රුපියල් 170 ක් බවත් සදහන් වේ. ඔහුට බිත්තර ආහාරයට ගැනීමේදී ඇති වූ අපහසුතාව හේතුවෙන් පරික්ෂා කිරීමේදී එය රබර් හෝ ප්ලාස්ටික් එකට සමාන බව දැන එහි කාර්ය මණ්ඩලය සමග කතිකා කර ඇතත් එකගතාවයකට පත් වීමට නොහැකි වී ඇත.

ඒ අනුව අවට මේස නිරීක්ෂණය කිරීමේදී බිත්තර රෝල් ආහාරයට ගත් අයවලුන් බිත්තර කෑලි ආහාරයට නොගෙන ඉතිරි කර ගොස් යන අයුරු ද පැමිණිලිකරු නිරීක්ෂණය කර ඇත. පසුව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට දුරකථනය මගින් දැනුම් දී ඇති බවත් ඒ වන විට ඔහු ඇල්පිටිය ප්‍රදේශයේ රාජකාරි කටයුත්තක යෙදී සිටින බැවින් පසුදින පරීක්ෂණ ආරම්භ කර බවත් දැනුම් දී ඇති බව පැමිණිලිකරු පැවසීය.

මේ පිළිබඳ අදහස් දැක්වූ බෙන්තර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දුරකථනය මගින් පැමිණිල්ලක් ලැබී තිබෙනවා හෙට පරීක්ෂණ ආරම්භ කරනවා යනුවෙන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *