මෙරට විශ්වවිද්‍යාල පද්දතිය තුලින් නවක වදය තුරන් කිරීම සදහා නවකවද විරෝධී ජාතික කමිටුවක් පිහිටුවා ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති ඇමැති ආචාර්ය සුරේෂ් රාගවන් මහතා පැවසීය.

ජනාධිපති වරයාගේ, අගමැතිවරයාගේ, මානව හිමිකම් කොමිෂන් සභාවේ, පොලිස්පතිවරයාගේ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, උපකුලපතිවරුන්ගේ සංගමය යනාදී නියෝජිතවරුන් මෙම කමිටුවට ඇතුළත් බවත් එය පුළුල් වූ කමිටුවක් බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය. කිසියම් නවකවද සිද්ධියක් වාර්තා වුවහොත් ඒ බව 1977, 0112123700 දුරකථන අංකවලට හෝ 07654533454 වට්ස්අප් පහසුකම සහිත දුරකතන අංකයට දැනුම් දිය හැකි ය.

පැය 24 පුරාම ක්‍රියාත්මක මෙම දුරකථන අංක වලට නවක වද සිද්ධි වාර්තා වූ වහාම ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරමින් නීතිය ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

පසුගිය මාස 12 ක දී නවක වද සිද්ධීන් තිස් හයක් වාර්තා වූ අතර එය පෙර වර්ෂවලට වඩා අඩු වක් බවත් විවිධ හේතු නිසා පන්ති තහනමට ලක් වූ ශිෂ්‍යයන් පනස් හතක් වන බවත් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

උසස් පෙළ විභාගයට සිසුන් 363,000 මුහුණ දෙන අතර ඉන් 163,000ක් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබුවත් 45,000 කට පමණක් විශ්වවිද්‍යාල වරම් ලැබෙන බවත් එවැනි සුළු සංඛ්‍යාවකට සරසවි වරම් ලැබීමෙන් පසුව අන් අයට වඩා වගකීම් සහගතව වැඩ කළ යුතු බවට ඔවුන් තරයේ සිතට ගත යුතු බවත් රාජ්‍ය ඇමතිවරයා කීය.

නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් උපකුලපතිවරයාගේ සිට පහළ කාර්ය මණ්ඩලය දක්වා වගකිව යුතු බවත් විශ්වවිද්‍යාල පද්දතිය තුලින් කෙසේ හෝ මෙම නවක වද සිද්ධීන් තුරන් කර දැමිය යුතු බවත් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මානව හිමිකම් කඩ කරන නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් ශිෂ්ට සම්පන්න ජාතියක් විදිහට ලැජ්ජා විය යුතු යැයි ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නීති විශාරද නීතිඥයන් රනිල් අබේනායක, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව මහත්වරු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *