දකුණු ආසියානු කලාපයේ ජේෂ්ඨතම රථ වාහන වෙළෙඳ සංගමය වන ceylon motors traders සමාගම වාණිජ වාහන සහ බස්රථ සදහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කළ නිවේදනය වෙත සිය අවධානය යොමු කර ඇත. මෙම සීමා ලිහිල් කිරීමෙන් සුබවාදී තීරණය පිළිබඳ සිය ප්‍රසාදය පළ කරන සමාගම වාහන ආනයනය සඳහා යොදවන විදේශ මුදල් වියදම් කළමනාකරණය කිරීම වෙනුවෙන් තිරසර ප්‍රවේශයක ඇති අවශ්‍යතාවය අවධාරණය කරයි.

කාර්තු වලින් ක්‍රම ක්‍රමයෙන් අඩුවන ඉහළ තීරුබදු සහිත වාණිජ වාහන සහ යතුරුපැදි ආනයනය කිරීම නැවත හදුන්වා දීමේ යෝජනාවක් එම ආයතනය විසින් මීට පෙර ඉදිරිපත් කරන ලදී. තොග වශයෙන් වාහන ආනයනය නොකර, ඉල්ලීමට සරිලන ලෙස පමණක් වාහන ආනයනය කර විදේශ මුදල් පිටතට ගලා යාම නියාමනය කිරීම මෙම යෝජනාවේ අරමුණ වී ඇත.

වසර දහයක් තෙක් පැරණි බස් රථ ආනයනය කිරීමට ඉඩ සලසන නව ප්‍රතිපත්තිය පිළිබඳව එම සංගමය සිය අදහස් පළ කර ඇත. නව ප්‍රතිපත්තිය පැමිණීමට ප්‍රථම ආනයනය කළ හැකි වූයේ වසර පහක් පැරණි වාහන පමණකි. මෙසේ වසර සීමාවන් වෙනස් කිරීමෙන් පසු මෙම බස් රථ මිලදී ගැනීමේ මූලික අවස්ථාවේදී බස් රථවල පැරණි බව නිසා මිල ගණන් අඩු විය හැකි වුවත් ඉදිරි වසර වලදී වාහන නඩත්තු කිරීම හා වාහන වල අමතක කොටස් සදහා විශාල වශයෙන් මුදල් වැය කිරීමට සිදු වනු ඇත. මෙරට විදේශ විනිමය රටට අහිමි වීමට හේතුව විය හැකි මෙවන් කෙටිකාලීන ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේදී පරික්ෂාවට ලක් කර නැවතත් ඒ පිළිබඳ සලකා බැලිය යුතු බව නිර්දේශ කරයි.

සාමාන්‍යයෙන් වසර දහයක් හෝ ඊට පැරණි බස්රථ කිලෝමීටර් මිලියන එකක් දල වශයෙන් ආවරණය කර ඇත. එය වසරකට කිලෝ මීටර් 100,000කට සමාන වේ. වසර 10ට වඩා පැරණි බස් රථ වල පාරිසරික හා ආරක්ෂිත බලපෑම, මාර්ග වල ගමන් කිරීමට ඒවාට ඇති යෝග්‍යතාවය පිළිබඳ හා විශේෂයෙන් මෙම බස් රථ නිසි ලෙස පරික්ෂා නොකළහොත් මතුවිය හැකි ගැටළු පිළිබදව ද එම සංගමය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *