විවිධ අංශ විසින් කරන රේගු විමර්ශනවලදී රේගු භාරයට ගෙන රදවා ගෙන ඇති වාහන 133කට අදාළ විමර්ශන ලිපිගොනු අස්ථානගතව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

රේගු විමර්ශනවලදී රේගු භාරයට ගත් වාහන 435ක්, බහාලුම් 91ක් මෙම වර්ෂයේ ජනවාරි 31 දින වන විට පෞද්ගලික ආයතනයකින් කුලී කුලීපදනම මත ලබාගෙන ඇති අංගනයක මෙම රථවාහන ගාල් කොට ඇති බව ද විමර්ශන වාර්තාවේ සඳහන් වේ. ඉන් වාහන 260 එකක් බහලුම් 86ක් වසර 5 කට අධික කාලයක සිට මෙකී අංගනයේ රඳවා තිබිණි. විවිධ අංශ විසින් කරනු ලබන රේගු විමර්ශනවලදී රේගු භාරයට ගන්නා ලද හා වෙනත් නියාමන ආයතන විසින් රේගුවට භාරදෙන ලද හා රාජසන්තක කළ වාහන හා බහාලුම් වෙන්දේසි හෝ බැහැර කරන තෙක් රේගු අධිකරණය රඳවා තබා ගැනීම සඳහා වර්ග අඩි 18,000ක භූමිභාගයක් පෞද්ගලික ආයතනයකින් කුලියට ලබාගෙන තිබිණි.

2015 වර්ෂයේ සිට 2020 කාලය දක්වා පමණක් රේගුව විසින් අදාළ සමාගම සමඟ විධිමත් ගිවිසුමකට එළැඹ තිබිණි. ඉන්පසු 2023 ජනවාරි මස දක්වා අවස්ථා පහක දී කාලය දීර්ඝ කරමින් මෙම භූමි ප්‍රයෝජනයට ගෙන තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

2015 වර්ෂයේ සිට 2023 ජනවාරි දක්වා කාලය තුළ පෞද්ගලික ආයතනයකට ගෙවූ සහ ගෙවිය යුතු මුළු කුලී මුදලේ එකතුව රුපියල් 77,485,548ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ. වසර පහකට වඩා අධික කාලයක් සිට ගාල් කොට ඇති මෙම වත්කම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොපමාව ගත යුතු බව විගණනය මගිනි නිර්දේශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *