නොරොච්චෝලේ විදුලි බලාගාරයට අනුයුක්තව සිටි ඉංජිනේරුවරුන් රැසක් ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉවත් ව විදේශගත වීම හේතුවෙන් එම පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් විදුලි සහ යාන්ත්‍රික අධිකාරීවරුන් බදවා ගන්නා ලෙස තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමයේ සභාපති ඒ.යූ.නිශාන්ත මව්බිමට පැවසීය.

මේ සදහා වෘත්තීය මට්ටමේ පළපුරුදු සහිත විදුලි සහ යාන්ත්‍රික අධිකාරිවරු දෙසීයකට අධික සංඛ්‍යාවක් ලංකා විදුලිබල මණ්ඩලය සතුව සිටින බවත් ඒ නිසා පිටස්තර විදුලි හා යාන්ත්‍රික විදුලි ඉංජිනේරුවන් බදවා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවද හෙතෙම මවුබිමට අදහස් දක්වමින් සඳහන් කළේය

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ කටයුතු නිසියාකාරව පවත්වාගෙන යාම සඳහා කොන්ත්‍රාත් පදනම යටතේ ඉංජිනේරුවරු දහනව දෙනෙකු බදවා ගැනීම සඳහා කැදවූ සම්මුඛ පරීක්ෂණ කටයුතු වලට එරෙහිව සිය සංගමය විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළ බවත් අදාල බදවා ගැනීම තාවකාලිකව නවතාලීම සදහා අභියාචනාධිකරණය අතුරුතහනම් නියෝගයක් දී ඇති බවත් හෙතෙම පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ප්‍රමුඛ පාලන අධිකාරිය විසින් අත්තනෝමතික ලෙස මෙලෙස පුරප්පාඩු වන ඉංජිනේරුවරුන් සදහා නව බදවා ගැනීම් සිදුකිරීමට යන බවත් සුදුසුකම් සහිත විදුලි සහ යාන්ත්‍රික අධිකාරීවරුන් සිටින තත්වයක් තුළ මෙම ක්‍රියාවලියට එරෙහිව මෙලෙස අධිකරණය හමුවට ගිය බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

නොරොච්චෝලය ලක්විජය බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රය මෙහෙයුම් නොවැම්බර් මස ආරම්භ කිරීම සදහා පුහුණු පළපුරුදු විදුලි ඉංජිනේරුවරුන් නොමැති වන බව මව්බිම මීට පෙර අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *