පාසල්වල පවත්වාගෙන යන ආපනශාලා සම්පූර්ණයෙන් දැඩි අධීක්ෂණයට ලක් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඊයේ කොළඹ දී පැවසීය.

පාසල් ආපනශාලා ප්‍රතිපත්තිය සම්පූර්ණ නෛතික ලියවිල්ලක් නොවන නමුත් පාසල් ආපන ශාලා තුල දරුවන්ට නුසුදුසු ආහාර ලබා දීම නිසා අනවශ්‍ය ගැටලු නිර්මාණය වන බව ද හෙතෙම කීය.

ආපන ශාලා තුළ අලෙවි කළ යුතු ආහාර සම්බන්ධව මාර්ගෝපදේශයක් නිකුත් කර ඇති බවත් අදාළ මාර්ගෝපදේශ චක්‍රලේඛයක් වශයෙන් නිකුත් කර ඇති බවත් ඔහු සදහන් කළේය.

අදාල මාර්ගෝපදේශ තුළ පාසල් දරුවන්ට හානි කර නොවන ආහාර මොනවාද හා ආපන ශාලා තුළ අලෙවි කළ හැකි ආහාර මොනවාද යන්න පැහැදිලිව දක්වා ඇති බවත් මෙය ජාතික පාසල් ආපනශාලා ප්‍රතිපත්තියක් ලෙස එළිදක්වා ඇති බවත් ඔහු පැවසීය.

මේ සම්බන්ධව පාසල් බලධාරීන් සහ පාසල් ආපනශාලා පවත්වාගෙන යන අයව දැනුවත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම චක්‍රලේඛයට පටහැනිව කටයුතු කරන අයට ආහාර පනත යටතේ නඩු පැවරීමට යම් ගැටළුවක් පවතින නමුත් පාසල් දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලු නිර්මාණය කරන ඕනෑම අවස්ථාවක නීත්‍යානුකූලව කටයුතු කිරීමේ හැකියාවක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මිතුන් ජයවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *