ඇතැම් වෛද්‍ය සැපයුම් අංශවල හා මූලික හා ශික්ෂණ රෝහල් කිහිපයක අත්‍යවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ බොහෝමයක් නිසි තත්ත්වයෙන් ගබඩා කර නොමැති බව වාර්තා වේ.

ඖෂධ ගබඩා කිරීමේදී හා ප්‍රමිතිගත ක්‍රමවේදයක් පවතින නමුත් මෙරට බොහොමයක් වෛද්‍ය සැපයුම් අංශවල එවැනි තත්ත්වයක් දැකගත නොහැකි බවද සෞඛ්‍ය වෘත්තිය සමිති පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද නවතම විගණන වාර්තාව කින් කරුණු පෙන්වා දී ඇත.

ඒ අනුව සෙල්සියස් අංශක 25 ට අඩු උෂ්ණත්වයක ගබඩා කර තැබිය යුතු ඖෂධ අයිතම 17ක් සෙල්සියස් අංශක 30 ට වැඩි උෂ්ණත්වයන් සහිතව ගබඩා කර තිබුණු බව අදාළ විගණන වාර්තාවේ සඳහන් කර තිබේ.

ගම්පහ හා අනුරාධපුර ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශ වල හා මිරිගම මූලික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල් වල මෙම තත්ත්ව අනාවරණය වූ බව එහි දක්වා ඇත.

එලෙස අනාරක්ෂිත හා නිසි ප්‍රමිතියකින් තොරව ගබඩාකර ඇති ඖෂධ අතර ආසාත්මිකතා, අධි රුධිර පීඩන රෝග සදහා භාවිතා කරන ඖෂධ හා ප්‍රතිජීවක ඖෂධ පැවති බවද අදාළ විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇත.

ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශවල මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ නිසි කළමනාකරණයක් නොමැතිවීම හා බොහොමයක් යන්ත්‍රසූත්‍ර අළුත්වැඩියා නොකිරීම හේතුවෙන් බව වෛද්‍ය වෘත්තීය සමිති චෝදනා කරයි. මෙවැනි තත්ත්වයන් අවම කිරීමට රජය කඩිනමින් පියවර ගත යුතු බවත් එසේ නොමැති වුවහොත් රෝගීන්ට ලබා දීමට සිදුවන්නේ ප්‍රමිතියෙන් තොර ඖෂධ බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

මිතුන් ජයවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *