දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති shyyang 6 නැමැති චීන නෞකාව ඊට පනවා ඇති කොන්දේසි කඩ කරමින් මෙරටට ළඟා වීමට උත්සාහ දරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම චීන නෞකාවේ ශ්‍රී ලංකා ගමන සම්බන්ධයෙන් ඉන්දියාවත් ඇමරිකාවත් සිය දැඩි විරෝධය දක්වා තිබුණි.
Shyyang නෞකාව ලංකාවට එන්නේ නම් එය ශ්‍රී ලංකා වරායට ඇතුල් වීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් අවසර දී ඇත්තේ නොවැම්බර් 25 වැනිදා ඉන් පසුවය. එය නොවැම්බර් මසට යෙදී ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ චීන සංචාරය නිමා වීමෙන් පසුව යෙදෙන දිනයකි.
චීන නෞකාවට මෙරට ළගාවීමට ආරක්ෂක අමාත්‍යාංශය අවසර දී ඇත්තේ කොන්දේසි දෙකක් මතය. ඉන් එකක් වන්නේ නෞකාව පැමිණිය යුත්තේ ජනාධිපතිවරයා ගේ චීන සංචාරයෙන් පසුව විය යුතු බවයි. නාරා ආයතනය සහ රුහුණු විශ්ව විද්‍යාලය සමග කරන පර්යේෂණයේ දී ගිවිසගත් කොන්දේසි කඩ නොවන අයුරින් කටයුතු කළ යුතු බව අනිත් කොන්දේසියයි. එහෙත් මෙම කොන්දේසි දෙකෙන් පළමුවැන්න උල්ලංඝනය කරමින් චීන නෞකාව ලංකාව බලා පිටත්ව තිබේ. ඒ පසුගිය දහ වැනිදාය. ඒ අනුව නෞකාව ඔක්තෝබර් දෙවැනි දා වන විට ලංකාවට පැමිණීමට නියමිත බව අන්තර්ජාතික නාවික ගමනා ගමන ගමනාගමනය පිළිබඳ තොරතුරු සපයන වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් රජයේ ඉහළ නිලධාරියකු කියා සිටියේ කොන්දේසි කඩ කරමින් චීන නෞකාව මෙරටට පැමිණිය හොත් එය මෙරටට බාර ගන්නවා ද නැද්ද යන්න විදේශ කටයුතු අමාත්‍යංශය තීරණයක් ගත යුතු බවයි.