හන්තාන රක්ෂිතය ආශ්‍රිතව සිටින කොටින් කිහිපදෙනෙකු ගම් වැදීම හේතුවෙන් තම දෛනික ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව එම ප්‍රදේශවාසීහු පවසති.

හන්තාන කදු බෑවුමේ දිගු කාලයක් පදිංචිව සිටින මෙම ගම්වාසීහු සඳහන් කරන්නේ මෑත කාලයේ සිට රාත්‍රියට ගම් වදින කොටින් කීපදෙනෙකු ගවයන්, එළුවන්, බල්ලන්, බළලුන් මෙන්ම කුකුළන් වැනි සතුන් විශාල වශයෙන් මරා දමා ඇති බවය. මෙම ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙම තත්ත්වය මත තමන්ගේ මෙන්ම කුඩා දරුවන්ගේ ජීවිත පවා අවදානමට ලක්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු අංශ කඩිනමින් පියවරක් ගත යුතු බවය. මෙම ගැටලුව පිළිබඳව සොයා බැලීම හා ජනතාව දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක් හන්තාන තපෝදාරාම විහාරස්තානය ට නුදුරු ප්‍රජා ශාලාවේ පැවති අතර ඒ සඳහා මහනුවර මූලස්ථාන පොලිසිය, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ඇතුළු අදාළ වගකිවයුතු ආයතන නිලධාරීහු එක්ව සිටියහ. මෙම නිලධාරීන් මහජනතාව දැනුවත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ කොටින් මේ දක්වා ජනතාවට පහර දුන් අවස්ථා ඉතාමත් අවම බවය. මෙම සත්ව විශේෂය බොහෝ විට මිනිසුන් මගහැර යන බවත් රාත්‍රී කාලයට පමණක් ආහාර සොයා ගම් වදින බවත් එබැවින් තම සතුන් රාත්‍රී කාලයේ දී ආරක්ෂිත ආකාරයෙන් රදවා තැබීමෙන් මෙම උවදුරෙන් මිදිය හැකි බවත් ඔවුහු පෙන්වා දුන්හ.

මේ වන විට හන්තාන රක්ෂිතයේ වනාන්තර එළි කිරීම, එහි බහුලව ගැවසෙන වන සතුන් ජනතාව විසින් මස් පිණිස මරාදැමීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් කොටින් ගම් වැදීම සිදුවන බවද මෙහිදී ප්‍රකාශ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *