හසලක මොරයාය ප්‍රාදේශීය රෝහල නේවාසික රෝගින් භාරගැනීම ඉකුත් 29 වැනි දා සිට තාවකාලිකව නතර කර ඇති අතර හදිසි ප්‍රතිකාර පමණක් කිරීමට රෝහල් පරිපාලන අධිකාරිය තීරණය කර තිබේ.

පවතින උග්‍ර ජල ගැටලුවක් හේතුවෙන් මෙම තීරණය රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී ආර්.එම් ගුණසේකර විසින් ඉකුත්දා ලිපියකින් මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක සහ මිනිපේ ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු අදාළ වගකිවයුතු නිලධාරීන් දැනුවත් කර එදින වන වනවිට රෝහලේ නේවාසිකව සිටි රෝගීන් වෙනත් රෝහල් කරා යැවීමටත් නේවාසික රෝගීන් භාර නොගැනීමට තීරණය කර තිබේ.

ග්‍රාම නිලධාරී වසම් අටක පමණ පන් දහසකට අධික ජනතාවක් නියෝජනය කරන මෙම රෝහලින් දෛනිකව නේවාසිකව රෝගීන් 15 ත් 20 ත් අතර සංඛ්‍යාවක් ද බාහිර අංශයෙන් රෝගීන් 150 180 ත් අතර ප්‍රමාණයක් ද සතියේ පැවැත්වෙන ළදරු හා මවු සායන ඇතුළු වෙනත් වෛද්‍ය සායන සඳහා විශාල පිරිසක්ද සහභාගී වෙති.

නේවාසික ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන ගැමියන්ට රෝහලේ සිට කිලෝමීටර් 10ක පමණ දුරක් ගෙවා මහියංගනය මූලික රෝහලට හෝ හසලක ප්‍රාදේශීය රෝහලට යාමට සිදුව තිබේ. මෙම ගැටළුව නිසා නේවාසික රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු අඩාල වී ඇත. තවද නේවාසිකව සේවය කරන වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන් ඇතුළුව අනෙකුත් කාර්ය මණ්ඩලය ද එහි රැඳී සිටීම දුෂ්කර වී ඇත.

එබැවින් නැවත ජල සැපයීම යථාතත්වයට පත් කර ගන්නා තෙක් අත්‍යවශ්‍ය හදිසි රෝගී ප්‍රතිකාර කටයුතු පමණක් කරන බව කණගාටුවෙන් යුතුව දන්වා සිටින බවද එම ලිපියේ සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *