ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග අවසන් වූ වහාම එම සිසුන්ට වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත පැවසීය.

ඒ අනුව උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග වලට පෙනී සිටින සිසුන්ගෙන් සියයට 50 කට වැඩි පිරිසක් මෙම වෘත්තීය පුහුණු පාඨමාලා වලට සහභාගී සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඇමැතිවරයා සදහන් කළේය.

මෙවර පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයෙන් අනතුරුව පාසල් පොකුරු සංකල්පය භාවිතා කරමින් මම වෘත්තීය පුහුණු පාඨමාලාව ආරම්භ කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ගිංතොට සහිරා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව කීවේය.

මෙවැනි මානව සම්පත් කලමනාකරණ පුහුණු වැඩසටහනක් මගින් මෙරට තරුණ පරපුරේ රැකියා විරහිත භාවය අවම කරගැනීමටත් නවෝත්පාදන බලගන්වා තාක්ෂණික වෘත්තීය ක්ෂේත්‍රයේ වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඇමැතිවරයා පැවසීය.

රට මුහුණ දී සිටින වත්මන් ආර්ථික, සමාජ අභියෝග ජය ගැනීමට මෙම පුහුණු වැඩසටහන් පිටිවහලක් වනු ඇති බවත්, එය අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය සංධිස්ථානයක් වනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග වලට මුහුණ දෙන සිසුන්ට වෘත්තීය පුහුණු පාඨමාලා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබෙන බවද ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *