ඖෂධ හදිසි මිලදී ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ පැවසීය.

පසුගිය සමයේ රටේ පැවැති ආර්ථික හා දේශපාලනික වාතාවරණය හේතුවෙන් සෞඛ්‍ය අංශයට අවශ්‍ය වන ඖෂධ විශාල සංඛ්‍යාවක් හිගව පැවති නමුත් මේ වන විට එම තත්වය ක්‍රමයෙන් අඩු වී ඇති බව හෙතෙම කීය.

ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයා පත්කරන ලද කමිටුව පසුගිය සතියේ ලබාදුන් නිර්දේශවලට අනුව මෙම තීරණය ගෙන ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු සදහන් කළේය.

මේ වන විට ඖෂධ හිගය පාලනය කළ හැකි තත්ත්වයක පවතින බවත් යම් හෙයකින් නැවතත් ඖෂධ හිඟයක් ඇති වුවහොත් හදිසි මිලදී ගැනීම් සිදු කළ හැකි බවත් ඔහු පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය ඖෂධ වර්ග දෙසීයක පමණ හිගයක් මේ වන විට පවතින නමුත් ලබන මාසය වන විට එම ප්‍රමාණය හැත්තෑවක් සීයත් අතර ප්‍රමාණයකට ගෙන ඒමට කටයුතු කරන බවත් එය ලෝකයේ සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔහු සදහන් කළේය.

ලංකාවට ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් බංග්ලාදේශය හා ඉන්දීය රජයන් අතර ගිවිසුම් ගත වීමට තීරණය කර ඇති බවත් එම වැඩපිළිවෙළ මේ වන විට සියයට අනූවක අගතියක් ලබාගෙන ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

බංග්ලාදේශය හා ඉන්දියාව සමග මෙම සාකච්ඡා ආරම්භ කර ඇත්තේ ලංකාවට 90% ක ප්‍රමාණයක් ඖෂධ මේ රටවල්වලින් ගෙන්වීම නිසා බවද සදහන් කළේය.

මේ සාකච්ඡා අතරතුර දී බංග්ලාදේශ රජය මාස තුනකට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය හා මේ වන විට හිගව පවතින ඖෂධ වර්ග පනස් හතරක් නොමිලේ ලබාදීමට කැමැත්ත දක්වා ඇති බවත් එම ඖෂධ තොගය නුදුරේදීම ලැබෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *