විදුලි බිල වැඩිවීම ජනතාවට දරාගත නොහැකි බවත් එම නිසා ඊට සහනයක් ලබාදීම පිළිබඳ ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා කරන බවත් හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ පැවසීය.
ඉහිලිමට නොහැකි බරක් ජනතාව වෙත මේ වන විටත් පැටවී ඇතැයි ද ජනතාවට කඩිනමින් සහන හිමිවිය යුතු යැයි ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කීය.
ආගමික ස්ථානවල විදුලි බිල සීඝ්‍ර ලෙස වැඩි වී ඇතැයි ද එය විශාල ප්‍රශ්නයක් ලෙස තමා දකින බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
අයි.එම්.එෆ් වාරිකය ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද තම පාලන කාලයේ එවැනි ප්‍රශ්න මතු නොවූ බවද ප්‍රශ්න කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවසීය.
සමාජ මාධ්‍ය පැවතිය යුතු අතර එය පරිශීලනය කිරීමට සියලු දෙනාට අයිතියක් ඇති බව ද සමාජ මාධ්යයෙන් තමාට කිසිදු ප්‍රශ්නයක් වී නැතැයි ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
පසුගියදා කොළඹදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.