ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
මේ අනුව අදාළ පෙත්සම ඊයේ සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, විපක්ෂ සංවිධායක කමිටුවේ සාමාජික මහාචාර්ය ජී එල් පීරිස් යන මන්ත්‍රීවරුන් සහ වැලිගම නගර සභාවේ හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත. පෙත්සම්කරුවන්ගේ පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆර්මාකාසිම් පෙනී සිටි. අදාල පනතෙහි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පත් කිරීම, එහි සාමාජිකයන් පත් කිරීමට ජනාධිපතිවරයාට ඇති බලතල තුළ තවදුරටත් විධායකය අත්තනෝමතික ලෙස කටයුතු කිරීම, අදාල කොමිසමට අධිකරනයෙන් බැහැරව විමර්ශන කිරීම, දඩුවම් කිරීමට ඇති බලතල ආදී ජනතාව සතු මූලික අයිතීන් මේ තුළ උල්ලංඝනය වන බැවින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහ ජනමත විචාරණයකට යටත්ව සම්මත විය යුතු යැයි මෙම පෙත්සමෙන් පෙන්වා දී ඇත.