ගල්කිස්ස ප්‍රදේශයේ පවත්වාගෙන යන මදුරු කොයිල්, හෙයා ඩයි, ෂෑම්පෝ, සපත්තු පොලිෂ් ආදී පාරිභෝගික භාණ්ඩ රාශියක් නිෂ්පාදනය කරන ප්‍රසිද්ධ සමාගමක් විසින් රතු පැහැති වර්ණකයක් සහිත රසායනික අපජලය ප්‍රදේශයේ ස්වාභාවික ජල මාර්ගයකට මුදා හැරීම හේතුවෙන් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම ස්ථානයට නඩු පවරා ඇත.
ඉතා සූක්ෂම ලෙස මෙම කර්මාන්තශාලාව විසින් අප ජලය පරිසරයට බැහැර කර තිබූ අතර වරද තහවුරු කරගැනීම සදහා මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු වූ බව කොට්ඨාස බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.
මෙම රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ජලජ ජීවීන් දහස් ගණනක් මියගොස් බලවත් පාරිසරික හානියක් සිදුව තිබේ. මෙම ඇළ මාර්ගය සහ ඇළ මාර්ගය සම්බන්ධ වන ජලාශයේ මසුන් එම ප්‍රදේශය අවට පිරිස ආහාරයට ගන්නා බවද ප්‍රදේශවාසීහු පැවැසූහ.
මෙම වර්ණකය මදුරු කොයිල් වර්ණ ගැන්වීමට භාවිතා කරනු ලබන රොඩමින් වර්ණකය බවට එම සමාගම විසින් පිළිගැනීමෙන් පසු එය තහවුරු වීමෙන් අනතුරුව අදාළ සමාගමට එරෙහිව කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ගල්කිස්ස අධිකරණය නඩු පවරා ඇති අතර වරද පිළිගත් සමාගම රුපියල් 50000ක දඩයක් ගෙවීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
ගල්කිස්ස මහ නගර සභාවේ නගරය කොමසාරිස් ගේ උපදෙස් මත කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ගැමුණු සාලිය පෙරේරා සහ ජී එස් චන්දන ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් මෙම විමර්ශනයට සහභාගි වූහ.