ඊශ්‍රායෙල පලස්තීන යුද්ධය තවත් වර්ධනය වුවහොත් හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූලික සැලසුමක් සකස් කර තිබෙන බව එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා පැවසීය.
මේ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය යටතේ තිබෙන තානාපති කාර්යාල, රතු කුරුස වැනි ජාත්‍යන්තර සංවිධාන ඇතුළු විදේශ සම්බන්ධතා අංශ ගණනාවක සහාය ලබා ගැනීමට සැලසුම් කර ඇතැයිද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.
ඊශ්‍රායලය හා පලස්තීන වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හදිසි අවශ්‍යතා සදහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනට තානාපති කාර්යාල වෙත අරමුදල් යොමු කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ඊශ්‍රායලය වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවකු මෙරටට පැමිණීමට ඉල්ලීම් කර නැති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා ප්‍රකාශ කළේය.
ඊශ්‍රායෙල පලස්තීන යුද ගැටුම් හේතුවෙන් මෙරටට පැමිණීමට අවශ්‍ය ඊශ්‍රායලය වෙසෙන සියලු ලාංකිකයන්ට අවශ්‍ය පහසුකම් සපයන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය සතියේ දී දැනුම් දුන්නද ඊශ්‍රායලයේ තානාපති කාර්යාලයට හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ දක්වා එවැනි ඉල්ලීමක් ලැබී නැතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.
අතුරුදන් වූ බවට පැවසෙන දෙදෙනා හැරුණු විට යුද ගැටුම් වලට හසු වුවහොත් වෙනත් ලාංකිකයන් පිළිබඳව වාර්තා නොවන බව පැවසූ හෙතෙම ඊශ්‍රායලය දැනට වෙසෙන ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ආරක්ෂිතව සිටින බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔවුන් පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන බවත් සදහන් කළේය.
මේ වන විට දකුණු ගාසා තීරයේ ශ්‍රී ලාංකික පවුල් තුනකට අයත් සාමාජිකයන් 10 දෙනෙකු සහ බටහිර ඉවුරේ ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු සිටින බවට පලස්තීන ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය දැනුම් දී ඇතැයි ද යාපා මහතා පැවසීය.