ඊශ්‍රායල පලස්තීන යුද ගැටුම නතර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ආරක්ෂක මණ්ඩලය නායකත්වය ගෙන කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.
යුද්ධය නැවැත්වීම සඳහා ලෝක බලවතුන් බලපෑම් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති ඊශ්‍රායල් පලස්තීන ගැටුම සම්බන්ධයෙන් විශේෂ සංවාදයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ලෝකයේ සෑම රටක්ම යුද්ධය නතර කිරීම සඳහා එකම ස්ථාවරයක කටයුතු කළ යුතු බව ජාත්‍යන්තර සාම සමුළුවේ ආසියා කලාපයේ සභාපතිවරයා ලෙස තම මතය යැයි ද කීය. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ආරක්ෂක මණ්ඩලය මේ සඳහා මුල් වී වහාම යුද්ධය නතර කිරීම සඳහා මැදිහත් විය යුතු බව හෙතෙම පැවසීය.
මේ යුද්ධය හේතුවෙන් මුළු ලෝකයම විනාශ වීමේ අවධානමක් මතුව ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම මේ නිසා දුප්පත් රටවල් අසීරු අඩියකට පත් වන බව ද එම නිසා යුද්ධය නතර කිරීම සඳහා ලෝක බලවතුන් බලපෑම් කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය. අඩු තරමේ සටන් විරාමයකට එළඹිය යුතු බව ඔහු පැවසීය.