බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින් සියලු දෙනාගේම පොදු යහපත උදෙසා නව රටක් නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් සමඟ රට යළි ගොඩනැගීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලනඥයන්ට සහ පුරවැසියන්ට ආරාධනා කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් සදහන් කර සිටියේ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් අද පෙරවරුවේ එම විද්‍යාලයේ පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම” උත්සවයට එක්වෙමිනි. මෙරට පාසල් පද්ධතිය තුළ පවත්වාගෙන යන ගුණාත්මක අධ්‍යාපනය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ අතර කොළඹ රාජකීය විද්‍යාලයට විශේෂ ස්ථානයක් හිමිවන බවත් රාජකීයයන් සැමවිටම ඉදිරියට පැමිණ රට වෙනුවෙන් තම යුතුකම ඉටු කළ බවත් කියා සිටියේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සම්ප්‍රදානය කරන ලද කෘතියේ පළමු පිටපත ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද විදුහල්පති තිලක් වත්තුහේවා මහතා විසින් සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.