අපයෝජන සිද්ධීන්ට වරදකරුවන් වූ තැනැත්තන්ට ළමයින් සිටින පරිශ්‍රයට ඇතුළු වීම, ළමයින් සමග වැඩ කිරීම හෝ ලමයින්ගේ බාරකාරිත්වය හා ආරක්ෂාව ගැනීමට නොහැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන ගෙන ඒමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන ඇත.
නව නීති සංශෝධන රජයට ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත් කර ගන්නා බවත් එහි සාමාජිකයන් බදවා ගැනීම මේ වන විටත් සිදු වෙමින් පවතින බවත් ජාතික ළමා රක්ෂණ රක්ෂණ අධිකාරියේ සභාපති ආචාර්ය උදය අමරසිංහ පැවසීය.
ඉදිරි දෙසැම්බර් මාසයේදී මෙම සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා බාර දීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා කීය.
එංගලන්තය වැනි රටවල මෙවැනි අපරාධ කරුවන් සදහා ලයිස්තු පවත්වාගෙන යන බවත් ඔවුන්ට ළමයින් හා වැඩ කිරීමට ඉඩ නොදෙන බවත් හෙතෙම සඳහන් කළේය.
නව නීති සංශෝධනය ගෙන ඒමෙන් පසු එවැනි අපරාධකරුවන්ගේ ලයිස්තුවක් පවත්වාගෙන යාමට ජාතික ළමා රක්ෂණ අධිකාරිය කටයුතු කරන බවත් ළමයි සමග කටයුතු කරන ස්වභාවය රැකියා සදහා බදවා ගැනීමේදී එම ඉල්ලුම්කරුවන් ගැන ළමා ආරක්ෂණ අධිකාරියේ නිශ්කාෂණ ලබාගැනීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලට ඉඩකඩ හිමිවන බවත් සභාපතිවරයා කීවේය.
මෙම සංශෝධන සම්මත වීමෙන් පසු එසේ නිශ්කාෂණ ලබාගැනීම අනිවාර්‍ය කෙරෙන චක්‍රලේඛයක් රජය මගින් නිකුත් කරනු ලබන බවත් ඔහු සඳහන් කළේය.