ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පත් කළ අතුරු පාලක සභාවේ ඇති ගැටලු හා චෝදනා කඩිනමින් විසදීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත යුතු බව ජාතික ජන බලවේගය නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

දැනට පත් කර ඇති අතුරු පාලක සභාව පිළිබඳ විවිධ චෝදනා එල්ල වන හෙයින් ඒ අනුව ඒවා විසඳීම අනිවාර්ය බව ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම “ශම්මි – ධර්මදාස” බහිරවයන් සේ ක්‍රිකට් ආයතනය අල්ලා ගෙන නොසිට වහාම ඉල්ලා අස්විය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ ද පැවසීය. “දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක සභාව වංචා දූෂණ වලින් පිරුණු බවත් ඔවුන්ගේ ම සුඛ විහරණය වෙනුවෙන් එහි ධනය වියදම් කරන බවත් අනිත් පැත්තෙන් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රපාතයට කඩා වැටී ඇති බවත් පැහැදිලිය. තවදුරටත් ශම්මි – ධර්මදාස බහිරවයන් වගේ ක්‍රිකට් ආයතනය අල්ලාගෙන ඉන්නෙ නැතුව ඉල්ලා අස්විය යුතුයි.
එසේ නැතුව අධිකරණයට ගොස් වාරණ නියෝග ගැනීමෙන් මේ අර්බුද‍ය විසඳිය නොහැකියි.

ඒ වගේම ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු කමිටුව ක්‍රිකට් ගොඩනැංවීම පිළිබඳ දැක්මක් හා වැඩ පිළිවෙලක් සහිත ව ගොඩ නැගිය යුතුයි. නමුත් දැනට ඉදිරිපත් කර තිබෙන අතුරු කමිටුව ගැන විවිධ චෝදනා එල්ල කරනවා. එම නිසා නව අතුරු පාලක සභාවේ ගැටලු ටික කඩිනමින් විසඳීමට කටයුතු කළ යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *