ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 510ක මූල්‍ය සහනය යටතේ ඉදිරි මාස හය තුළ එම ගුවන් සේවයේ මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රගතිය පෙන්විය යුතු බව වරාය නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා පාලනාධිකාරිය වෙත දැනුම් දී ඇත.

එසේ නොවුණහොත් හයදාහක් පමණ වන සේවකයන්ගේ රැකියාවන්වල අස්ථාවර භාවයක් ඇතිවන බවට ඇමතිවරයා අනතුරු අගවා ඇත.

පසුගිය කාල පරිච්ඡේදයේ විටින් විට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම්වල ඇති වූ ප්‍රමාදයන් නිසා ගුවන් මගීන්ට සිදුවූ හිරිහර හා බාධාවන් හේතුවෙන් ගුවන් සමාගම විශාල ලෙස දෝශා රෝපණයට සහ විවේචනයට ලක්වූ බව පෙන්වා දී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට අනුව ගුවන් සේවය පවත්වාගෙන යාමට ඔවුන් විසින් බැංකු සහ ආයතන කිහිපයකට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 1.2 පමණ ණය ප්‍රමාණයෙන් ඇමරිකානු ඩොලර් මිලියන පන්සිය දහයක් පමණ රජය විසින් ගෙවා දැමීමට තීරණය කරනු ලැබීය.

ඒ අනුව ආකර්ශනීය මූල්‍ය ශේෂ පත්‍රයක් සමග ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉදිරි මාස හය තුළ අනවශ්‍ය වියදම් කපා හැර මනා මූල්‍ය විනයක් සමාගම තුළ ඇති කරගත යුතු බවත් ඒ සඳහා පරිපාලනය සහ වෘත්තිය සමිති ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් ඇමතිවරයා අවධාරණය කර ඇත.

ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවේදී හෙළි වූ කරුණු අනුව මේ වන විට ගුවන් යානා 16ක් මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර එම යානා භාවිතා කර දිගු ගමනාන්ත හයක් සහ කෙටි ගමනාන්ත 29 ක ගුවන් මෙහෙයුම් සිදු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බලධාරීන් සඳහන් කර තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *