ප්‍රථමයෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයද මහ මැතිවරණ ද යන්න අපට ප්‍රශ්නයක් නොවන බවත් පැවැත්වෙන ඒ ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජණ පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සුදුසු අපේක්ෂකයන් සිටින බවත් ඒ පිළිබඳ තීරණය වෙලාවට ගෙන අපේක්ෂකයා නම් කෙරෙන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
මැතිවරණ පිළිබඳ තීන්දු ගන්නා පාර්ශ්ව කුමන තීන්දු කරනු ලැබුවත් තම පක්ෂය සූදානම් බවක් පැවසූ හිටපු ජනාධිපතිවරයා ප්‍රථමයෙන් පැවැත්වෙන්නේ කුමන මැතිවරණයක් ද යන්න ජනාධිපතිවරයා මෙතෙක් දැනුම් දීමක් කර නැතැයිද කීය. පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් කැදවා මැයි දිනය පිළිබඳව හා ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් සාර්ථක මැයි දින රැළියක් පැවැත්වීමට සූදානම් බවත් පැවසීය.
බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවැති පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.