මාස තුනකට වැඩි කාලයක් ප්‍රමාණවත් පරිදි වැසි නොලැබීම හේතුවෙන් සතුන්ට දැඩි ලෙස ආහාර සහ ජල අර්බුදයක් මතු වී තිබෙන යාල , උඩවලව සහ විල්පත්තුව ජාතික උද්‍යාන තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතුව ඇතැයි වනජීවී නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

ජාතික උද්‍යාන වසා දැමීම සම්බන්ධව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සමග සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදහස් කරයි.ඉදිරි වැසි තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පුරෝකතනයක් ගැනීමෙන් පසුව එම තීරණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව වනජීවී නිලධාරීහු පවසති.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වියළි කලාපයේ ජාතික උද්‍යාන වල පමණක් නොව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනෝද්‍යානවල සතුන් ද ආහාර සහ ජලය නොමැතිව සිටින බව අනාවරණය වේ.

මෙරට වනජීවී කලාප හෙක්ටයාර් ලක්ෂ 11ක භූමි ප්‍රමාණයක් පුරා විහිදී තිබෙන අතර, ඉන් හෙක්ටයාර් ලක්ෂ 10ක ක පමණ භූමි ප්‍රදේශයක් විහිදී ඇත්තේ වියළි කලාපය ආශ්‍රිතවය.

විල්පත්තුව, සහ උඩවලව යන ජාතික වනෝද්‍යානවල කුඩා වැව්, පොකුණු, විශාල වැව් රැසක ජල මට්ටම පතුල් මට්ටම දක්වා අඩුවී තිබෙන අතර, සතුන්ට අවශ්‍ය ජලය බවුසර් මගින් ලබාදීමට වනජීවී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

කෙසේ නමුත්, වියළි කාලගුණික තත්ත්වය දිගටම පැවතිය හොත් යාල ජාතික උද්‍යාන කලාපයේ ජීවත්වන කුළු හරකුන්ට ජලය නොමැතිව එම සතුන් මිය යෑමේ අවදානමක් පවතින බව පරිසරවේදීහු කියා සිටිති.

උඩවලව ජාතික උද්‍යානය උද්‍යානයේ පොකුණු, වැව් ආදිය සිදී යාම හේතුවෙන්, එම පොකුණු පිරවීමට සෆාරි ජීප් රථ රියැදුරන් සහ පරිසරවේදීන් ස්වේච්ඡාවෙන් පසුගියදා කටයුතු කරනු ලැබූ අතර, එම කටයුතු නතර කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පොකුණුවලට ජලය යෙදීම පරිසර විද්‍යාත්මකව කිසිදු ශක්‍යතාවයක් නොමැති කටයුත්තක් බවත්, මෙලෙස ජලය යෙදීම මගින් සිදු වන්නේ ජාතික උද්‍යානවලට දැඩි වියළි කාලගුණික තත්ත්වයක් සහිත කාලයේ දී පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සතුන් දැක බලා ගැනීමට අවස්ථාවක් ලැබීම පමණක් බවත්, ජලය සැපයීම සංචාරක කටයුතු වලට කෙරෙන කළමනාකරණයක් පමණක් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙකු පැවසුවේය.

සතුන්ට ආහාර ලබා දීම ද දීම ද පරිසර විද්‍යාත්මකව වැරදි කටයුත්තක් බවත්, සතුන්ට ආහාර සහ ජලය සොයා යම්කිසි දුරක් ගමන් කිරීමේ හැකියාව පවතින බවත් ඔහු කීවේය.

සංචාරක කර්මාන්තයට හානියක් නොවන පරිදි ජාතික උද්‍යාන වසා දැමීම සම්බන්ධව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධානය යොමු කර ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර කියා සිටියේ ජාතික උද්‍යානවල සංචාරක කලාපවල ජීවත්වන සතුන්ට ජලය සැපයීමේ කටයුතු මේ වන විට දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවත්, ඊට අවශ්‍ය මුදල් දෙපාර්තමේන්තුවට පවතින බවත්, ලංකාවේ ම සිටින සතුන්ට ජලය සැපයීම පරිසර විද්‍යාත්මකව වැරදි ප්‍රතිපත්තියක් බවත්ය.මෙවැනි කටයුතු වලින් සතුන්ට සිදු වන්නේ අනර්ථයක් බවද ඔහු කීවේය.

සාලිය කුමාර ගුණසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *