ලබන වර්ෂයේ සිට පළමු වසරෙන් ආරම්භ වී සියලු ශ්‍රේණි සදහා වාර විභාග අඩුකර වසරකට එක විභාගයක් පමණක් පවත්වන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංජන පැළදවීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

දරුවන්ගේ පෝෂණය සඳහා මවුපියන්ට මුදල් යෙදවීමට නොහැකි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ අමතර පන්ති සදහා අනවශ්‍ය පරිදි වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම නිසා යැයි කී ඇමැතිවරය මේ තත්ත්වය වෙනස් කිරීමට මෙසේ වසරකට එක විභාගයක් පවත්වන බවත් කීවේය.

කෙසේ වුවත් සෑම පාඩමක් හෙවත් මොඩියුලයක් අවසානයේම තක්සේරු කරනයක් හරහා ලකුණු පරිගණක සටහන් ලෙස වාර්තා ගත කර තබා වසර අවසානයේ විභාග ලකුණු වලට එකතු කරන බවත් මුලදී මෙම විභාග ලකුණු 70% හා මොඩිවුල ලකුණු 30% වශයෙන් සැලකෙන නමුදු ක්‍රමයෙන් එය 50%ක් දක්වා සමාන ලකුණු පරාසයකට ගෙන එන බවත් හෙතෙම පැවසුවේය.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේ දී පාසල් පැමිණීම, රැඳී සිටීම හා එදිනෙදා පන්තියෙ වැඩ කිරීම අනිවාර්ය වන නිසා අමතක පන්ති යාමට අවකාශයක් හෝ අවශ්‍යතාවයක් පාසල් සිසුන්ට ඇති නොවන බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.එමගින් දෙමාපියන්ට අනවශ්‍ය තරගයකට හසුව අමතර පන්ති සඳහා දහස් ගණන් මුදල් වියදම් නොකර දරුවාගේ ආහාරපාන අවශ්‍යතා සදහා එම මුදල් වැය කළ හැකි බවත් නිදහස් අධ්‍යාපනයේ මූලික අරමුණු මල්ඵල ගැන් වෙන්නේ එවැනි ක්‍රියාදාමයක් මගින් බවත් ඒ මහතා කියා සිටියේය.

ඉදිරියේදී එක් පාසල් වාරයක් සදහා එක වැඩ පොතක් වන සේ වාර තුන සදහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබා දෙන බවත් උසුලාගෙන යාම පහසු වන පරිදි පාසල් සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩු කිරීම මගින් අපේක්ෂිත බවත් ප්‍රේමජයන්ත මහතා කීවේය.

සිසුන්ගේ කශේරුකාව සෘජුව තබාගෙන ශරීර සුවතාවය ආරක්ෂා කර ගැනීමට ද මෙම පාසල් බෑගයේ බර අඩු වීම බලපාන බවද අධ්‍යාපන ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

සන්ධ්‍යා කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *