ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයෙන් ක්‍රියාත්මක වන සංචාරක දුම්රිය ගමනාන්ත ඇති කිරීමේ වැඩපිළිවෙළ යටතේ උතුරු දුම්රිය මාර්ගය කේන්ද්‍ර කරගනිමින් යාපනය හා කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන යාල් නිලා රාත්‍රි සුඛෝපභෝගී දුම්රිය පසුගියදා (04) රාත්‍රියේ ගමන් ආරම්භ කෙරිණි. ඇමති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී නිල වශයෙන් දුම්රිය කන්කසන්තුරේ දක්වා ධාවනය ආරම්භ වූ අතර, දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු මගීහු රැසක් මේ ආරම්භක දුම්රිය ගමනට එක්ව සිටියහ.

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු වලින් අනතුරුව දුම්රිය ගමනාගමනය වෙනුවෙන් විවෘත කිරීමත් සමඟ පසුගියදා මේ මාර්ගයේ ඇමැතිවරයා ප්‍රමුඛ නිලධාරින් නිරීක්ෂණ ධාවනයක ද එක්වූ අතර, මෙදින සිට සාමාන්‍ය පරිදි මගී ජනතාව වෙනුවෙන් යාල් නිලා දුම්රිය ගමන් ආරම්භ කිරීම සිදුවිය. ඒ අනුව කොළඹ කොටුවෙන් රාත්‍රී දහයට ගමන් ආරම්භ කරන දුම්රිය පෙරලපු 5: 52 ට කන්කසන්තුරය වෙත ළඟාවීමට නියමිතය.එමෙන්ම රාත්‍රී 9:30 ට කන්කසන්තුරේ සිට පිටත් වන දුම්රිය ගල්කිස්සට ළඟා වන්නේ පෙරවරු 05:36 ට ය.

නවීන, අධි සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත යාල් නිලා දුම්රියට වායුසමීකරණය කරන ලද ප්‍රථම හා දෙවැනි පන්තියේ මැදිරි, සනීපාරක්ෂ, භෝජනාගාර ඇතුළු පහසුකම් ඇතුලත් වේ.

ඉදිරියේ දී පැවැත්වෙන නල්ලූර් කෝවිල් මංගල්‍යය ඇතුළු හින්දු ආගමික ස්ථාන වන්දනා කිරීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් හා සංචාරකයන් අතර මේ දුම්රිය බොහෝ සෙයින් ජනප්‍රිය වනු ඇති බවට ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විශ්වාසය පළ කළේය.

දුම්රිය සාමාන්‍යාධිකාරී අධිකාරි ඩබ්.ඒ.ඩී.ඒස් ගුණසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

සුභාෂිණී සේනානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *