කොලඹ නගරය අලංකාර පිරිසුදු නගරය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානි සාගල රත්නායකගේ අධීක්ෂණය යටතේ යළි ආරම්භ වී ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ සහ කොළඹ නගර සභාව යටතේ ක්‍රියාත්මක වූ කොළඹ නගරය පිරිසිදු නගරයක් ලෙස පවත්වාගෙන යාමේ කටයුතු මේ වන විට නතර වී ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් වෙත ලැබුණු පැමිණිලි අනුව ක්‍රියාත්මක වෙමින් ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙම කටයුත්ත වෙනුවෙන් මැදිහත් ව තිබේ.

ඒ අනුව පසුගිය සතියේ කොළඹ නගරය සභා නියෝජිතයන්, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් ඇතුළු මෙම කටයුත්තට සම්බන්ධ ආයතන වල නිලධාරීන් කැඳවූ සාගල රත්නායක මේ කටයුතු පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත. කොළඹ නගරයේ පිරිසුදු නගරයක් ලෙස පවත්වාගෙන යාම මෙන්ම අලංකාර නගරයක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙම පිරිසට සාගල රත්නායක උපදෙස් දී ඇත. නාගරික උද්‍යාන මෙන්ම වෙරළ පිරිසිදු හා අලංකාර ස්ථානයක් ලෙස පවත්වාගෙන යාම බේරේ වැව ඇතුළු කොළඹ නගර සීමාවේ තිබෙන ඇල මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු ගැන ද උපදෙස් දී ඇත. පළමු සතියේ මෙම කටයුතු කරන ආකාරය ගැන සැලසුම් කරන ලෙසත් දෙවන සතියේ දී ඊට අවශ්‍ය පහසුකම් සපයා ගන්නා ලෙසත් තෙවන සතිය වන විට අවශ්‍ය කටයුතු ආරම්භ කළ යුතු බවටත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙම පිරිසට උපදෙස් දී ඇත. එම කටයුතු නිසි ලෙස වන්නේ දැයි තමන් දැඩි අවධානයකින් පසුවන බවද ඔහු අදාළ නිලධාරීන් දැනුවත් කර ඇත .

සුරේකා නිල්මිණි ඉලංගකෝන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *