විදේශගතව පුහුණුව ලැබ මෙරටට පැමිණි විශේෂත්වය වෛද්‍යවරුන් 263 දෙනෙකුගෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් එකොලොස් දෙනෙකු ඇතුළුව විශේෂඥ වෛද්‍යවරුන් 120 දෙනෙකු පසුගිය වසර එකහමාර තුළ කිසිවෙකුට නොදන්නා විදේශගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘතිය සේවා පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පැවසීය.

විශේෂඥ වෛද්‍යවරයෙකු පුහුණු කිරීම සඳහා පුහුණු ශිෂ්‍යත්ව ලාභියෙකුට රුපියල් කෝටි එක හමාරක පමණ මුදලක් ද අර්ධ ශිෂ්‍යත්ව ලාභයකුත් සඳහා රුපියල් ලක්ෂ 80 ක පමණ මුදලක් ද වැය වන බව හෙතෙම සඳහන් කළේය. පසුගිය වසර එකහමාර තුළ විශේෂඥ වත් විශේෂඥ පුහුණුව සදහා වෛද්‍යවරුන් 663 දෙනෙකු විදෙස්ගතව ඇති බව ද තවත් වෛද්‍යවරුන් 617 දෙනෙකු විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පුහුණුව සදහා විදේශ ගතව සිටීමට සූදානමින් සිටින බවද ඔහු කීවේය.

එලෙස විදේශගතව පුහුණුව ලැබූ කාලය අනුව එක් වසරක් පුහුණුව ලැබුවේ නම් මෙරට දී වසර හතරක ද වසර දෙකක් විදෙස්ගතව පුහුණුව ලැබේ නම් මෙරට වසර 8ක් ද අනිවාර්යෙන්ම සේවය කළ යුතු බවට ගිවිසුමකට බැඳුනත් විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණ සති කිහිපයක් ඇතුළත ඔවුන් කිසිවකුට නොදන්වා මෙලෙස විදෙස්ගත වී ඇතැයි වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පැවසීය.

කඩුවෙල කේ. බුද්ධික කුමාරසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *