කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකු ගේ නමින් ව්‍යාජ ලේඛනයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් ගේ දුරකථන වලට අන්තර්ජාලය ඔස්සේ මුදාහරිමින් කාන්තාවන්ගේ අතිශය පෞද්ගලික ලිංගික තොරතුරු ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල් ඉලංගසිංහ මහතා වෙත ඊයේ කරුණු වාර්තා කළේය.

කථිකාචාර්ය වරයාගේ බිරියගේ දුරකථනයට ලැබී ඇති පෝරමයක් පිළිබඳ ඇය කථිකාචාර්යවරයා ගෙන් කරුණු විමසීමකින් පසුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ පැමිණිලි ඉදිරිපත් කර ඇත.

කාන්තාවන්ගේ ලිංගික හැසිරීම් හා ආකල්ප පිළිබඳ තොරතුරු ලබාගැනීමේ මුවාවෙන් ව්‍යාජ ලේඛන යොදාගනිමින් අතිශය පෞද්ගලික ලිංගික තොරතුරු ලබා ගැනීම සදහා ගූගල් පෝරමයක් සකස් කිරීමේ සිද්ධියට අදාළව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පරිගණක අපරාධ අංශය අධිකරණය හමුවේ සඳහන් කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ගූගල් ආයතනයට අදාල දත්ත සම්බන්ධයෙන් වාර්තාවක් රහස් පොලිසියට සපයන ලෙස දන්වා අධිකරණ නියෝගයක් ලබා දෙන ලෙසය. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අධිකරණ නියෝගය නිකුත් කරමින් විමර්ශන පිළිබඳ ඉදිරි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *