රාජ්‍ය විශ්වවිද්‍යාල වලට අමතරව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇති කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

සිසුන්ට මුදල් අපහසුකම් හේතුවෙන් අධ්‍යයනය නතර නොකර රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල වෙත ඇතුල් වීමට සහන ක්‍රමයකට ණය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඇතැම් දේශපාලනඥයින් බොහෝවිට අතීතය ගැන පමණක් සිතන බවත් තමා සහ රජය අනාගතය පිළිබඳව සිතා තීන්දු තීරණ ගන්නා බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

දැනට පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකළොත් රටට අනාගතයක් නොමැති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයක් සමග පමණක් බව අවධාරණය කළේය.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ 2019/2020 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා (16) එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව කීවේය.

තාක්ෂණයන් වැළඳ ගැනීමට අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන බව පැවසූ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තාක්ෂණික විෂයන් සඳහා හැකිතරම් විශ්ව විද්‍යාල ඇති කළ යුතු බව සදහන් කළේය. සිසුන්ට ඉංග්‍රීසි භාෂාව, චීන භාෂාව හා හින්දි භාෂාව පිළිබඳ දැනුම ලබාගත හැකි පාසල් හා උසස් අධ්‍යාපන ආයතන බිහි කළ යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ලෝක ආර්ථිකය හදා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මත වන බවත් කෘතිම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක්චේන් තාක්ෂණය, ජෙනෝම් විද්‍යාව වැනි අංශ අද ලෝක ආර්ථිකයට බලපෑම් කරමින් සිටින බවත් පැවසූ ජනාධිපතිවරයා එම තාක්ෂණය සමඟ ඉදිරියට යාමට අපගේ අනාගත පරපුර සූදානම් කළ යුතු බව සදහන් කළේය. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අමිත් මධුරංග ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *