මහනුවර ඇසළ පෙරහර සහ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් මහනුවර ප්‍රධාන පෙළේ සියලු හෝටල් මේ වන විටත් සංචාරකයන්ගෙන් පිරී ගොස් ඇත.

මේ ආකාරයෙන් මහනුවර හෝටල් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ගියේ වසර ගණනාවකට පසුව බව මහනුවර හෝටල් සංගමය පවසයි.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ලබන මස මුල් සතියේ පැවැත්වීමට නියමිත ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගය සදහා වන ප්‍රවේශ පත්‍ර ඉන්දියාවේ පමණක් 20,000කට වඩා අලෙවි වී තිබෙන බැවින් මහනුවරට පැමිණෙන සංචාරකයන්ට හෝටල් පහසුකම් දීමේ ගැටලුවක්ද මේ වන විට මතුව තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහනුවර මහ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා මෙසේද කීවේය.

” මහනුවර ඇසළ පෙරහර නැරඹීමට එන ජනතාව වෙනුවෙන් මහනුවර මහ නගර සභාවෙන් රැජින හෝටල් කොරිඩෝවේ පනවා තිබෙන ආසන ඔන්ලයින් ඔස්සේ වෙන් කර ගැනීමේ පහසුකම් සලසා තිබේ. මේ වන විට රුපියල් ලක්ෂ 50ක වටිනාකමකින් යුත් ආසන ටිකට්පත් ප්‍රමාණයක් විකිණී තිබෙනවා. රැජින හෝටල් කොරිඩෝවේ ආසන පැනවීම මෙවර මහ නගර සභාවෙන් ම සිදු කරනවා. අවසන් රන්දෝලි මහ පෙරහර දින ඉදිරිපෙළ ආසනයක් රුපියල් 25,000කට මිල නියම කර තිබෙනවා. මේ වන විට එම ආසන වලින් සියයට අසූවක් පමණ අලෙවි වී අවසන්”

අසේල කුරුළුවංශ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *