නිෂ්පාදන වියදමට සරිලන ලෙස වී කිලෝවක් සඳහා රුපියල් එකසිය තිහක් ලබා නොදුන්නේ නම් වී අලෙවියෙන් වැළකී සිටින ලෙස සිය සමාගම ගොවියන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා දිවයිනට ඊයේ පැවසීය.

වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 99.75 ක් බව රජය පිළිගෙන ඇතත් ගොවියාගෙන් ඊට අඩු මුදලකට මිලදී ගන්නේ කුමන සූත්‍රයකට දැයි රජය පැහැදිලි කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

‘ ගොවියා හොඳටම ණයවෙලා වී ටික වවලා තියෙන්නේ. රජය ආකර්ෂණීය මිලකට වී නොගන්න නිසා පුද්ගලික අංශය රුපියල් 60-70ට වී කිලෝව කමතින් මිලට ගන්නවා. වේලපු වී වලට ඊට ටිකක් වැඩි මිලක් ගෙවනවා. නමුත් ගොවියාට සාධාරණයක් නැහැ. ඒ නිසයි අපි ගොවියන්ගෙන් ඉල්ලා සිටියේ රුපියල් 130ට අඩුවෙන් වී විකුණන්න එපා කියලා. රජය වී සඳහා සාධාරණ මිලක් ලබාදීමට සූදානම් නම් ගොවියා අනිවාර්යයෙන්ම රජයට වී ලබා දෙනවා’ යැයිද නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *