මෙරට පැවති පළමු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයන් දෙදෙනකුට දුරකථන ඇමතුම් ලබාදී ඔවුන්ව තරග පවා දීම සදහා පොළඹවා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායක කටහඬ පරීක්ෂණයක් සදහා අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කටහඩ පරීක්ෂණයක් සදහා සැකකරුව මෙම මස 13 වැනි දින පෙරවරු 10ට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් බන්ධනාගාර අධිකාරීවරයාට කළ නියෝගයකට අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු එසේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම තරග පාවා දීමේ සිද්ධියට අදාළ හඩ පට තම දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවත් එම හඬ පට සැකකරුවෙක් කටහඬ හා ගැලපෙන්නේ ද යන්න පිළිබඳ තහවුරු කරගැනීම සඳහා ඔහුව රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියෝගයක් ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගෙන ඉකුත් නඩු වාරයේ දී මෙම නියෝගය නිකුත් කර තිබිණි.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මේ මස 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *