ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර සහිත මත්පැන් බෝතල් හදුනාගැනීම සදහා නව යෙදුමක් වහාම සකස් කරන ලෙස ක්‍රම හා විධි කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
ක්‍රම හා විධි කාරක සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී සභාපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත. ව්‍යාජ නිෂ්පාදන වැළැක්වීම සඳහා මත්පැන් බෝතල් සදහා ආරක්ෂක ස්ටිකරයක් හදුන්වා දී ඇතත් ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් තවමත් වෙළඳපොලේ භාවිතා වන බවත් මෙහිදී කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දී ඇත. එසේම ව්‍යාජ ස්ටිකර් හදුනා ගැනීමේ යන්ත්‍රයක් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවද මෙහිදී අනාවරණය වී තිබේ.
පසුගිය අයවැයෙන් බදු වැඩි කිරීම් ඇතුළු කරුණු කිහිපයක් මත්පැන් ආදායම පහළ වැටීමට හේතු වූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දී ඇති අතර, මිල වැඩි කිරීමට පෙර ඉල්ලුම් නම්‍යතාවය ගණනය කිරීම අවශ්‍ය බව මෙහිදී කාරක සභාවේ සාමාජිකයන් පෙන්වා දුන්නේය. එසේම මත්පැන් සඳහා බදු වැඩි කිරීම සිදු කිරීමේදී දෙපාර්තමේන්තුව විසින් සුදුසු සමීක්ෂණ සිදු කොට මුදල් අමාත්‍යංශයට නිසි උපදෙස් ලබා දිය යුතු බව ද කාරක සභාවේ නියෝජිතයෝ අවධාරණය කළහ. එමෙන් ම මත්පැන් නිෂ්පාදනය සදහා භාවිතා කරන සහල් ඇතුළු අමුද්‍රව්‍ය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ද කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත නියෝග කළේය. එමෙන්ම රට තුළ නිෂ්පාදනය වන මත්පැන් ප්‍රමාණය සහ වෙළෙඳ පොළට නිකුත් කෙරෙන මත්පැන් ප්‍රමාණය ඇතුළු තොරතුරු සෘජුව පරික්ෂා පරික්ෂා කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ පාලනය යටතේ යන්ත්‍රයක් තිබිය යුතු බවද කමිටුව පෙන්වා දුන්නේය.
මද්‍යසාර නිෂ්පාදනය සදහා රා අවශ්‍යතාවය සහ කෘතිම රා නිෂ්පාදනයෙන් සිදුවන බලපෑම් සහ රා නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව පොල් ගස් වගා කිරීම ඇතුළු විවිධ කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
එසේම බොහෝ මත්පැන් සමාගම් වලින් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු හිග බදු මුදල් පවතින බවද නිලධාරීහු මෙහිදී පවසූ අතර, එවැනි සමාගම් වල බලපත්‍ර අවලංගු කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හා ගාමිණී වලේබොඩ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වූහ.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *