ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක අවස්ථාවේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පරිපාලන අමාත්‍යංශය මගින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ජාතික ගීය හිතුමතයේ වෙනස් කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක මහතා පැවසීය. මේ සිදුවීම අනුමත කළ නොහැකි බව පෙන්වා දෙන ඒ මහතා ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමු වෙන වැඩසටහනක දී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම කනගාටුදායක තත්ත්වයක් බවද කීවේය.
මේ අතර බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා පවසන්නේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේ දී ජාතික ගීයේ පද වෙනස් කරමින් ගායනා කිරීමට එරෙහිව කටයුතු කරන බවයි. අදාල ගායිකාව ජාතික ගීය ගායනා කරන ආකාරය පිළිබඳව දිනමිණ කළ විමසුමකදී ඇමැතිවරයා මේ බව කීවේය.
රටක ජාතික ගීය රටේ අනන්‍යතාවය සහ සංස්කෘතිය නියෝජනය කරන නිසා කිසිවකුට එය විකෘති කිරීමට හැකියාවක් නැහැ. එය වෙනස් කිරීමට, රැප් කිරීමට, රීමික්ස් කිරීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා ජාතික ගීය විකෘති කරන මෙවැනි සිදුවීම් අනුමත කරන්න බැහැ.
ඒ නිසා පසුගියදා ඇතිවූ සිද්ධියට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට අමාත්‍යංශය සලකා බලනවා. ඊට අමතරව මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමටත් අපි කටයුතු කරනවා. ජාතික ගීය ගායනා කිරීමේ සම්මත ක්‍රමයක් තිබෙනවා ” යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.
ජනප්‍රිය ගායිකාවක් වන උමාරා සිංහවංශ විසින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියරය පෙරේදා (30) ආරම්භ වූ අවස්ථාවේ දී ජාතික ගීය පද වැරදි ලෙස උච්චාරණය කරමින් ගායනා කළාය.
මේ වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අතර ඇය එහි ‘ නමෝ නමෝ මාතා ‘ වෙනුවට ‘මහතා ‘යනුවෙන් නැවත නැවත ගායනා කරන අයුරු අසන්නට ලැබේ.
දෙස් විදෙස් ක්‍රිකට් තරු සහභාගී වන මෙම තරගාවලියේ දී වැරදි ලෙස ජාතික ගීය උච්චාරණය කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබේ.
මෙම ගායනයට එරෙහිව පාර්ශව කිහිපයක් ඊයේ (31) එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළ අතර සංවිධාන ගණනාවක් මාධ්‍ය හමු පවත්වමින් එම ගායනය හෙළා දකිමින් අදහස් පළ කළහ.

මහින්ද අලුත්ගෙදර, නුවන් කොඩිකාර , උපාලි කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *