ගම්මිරිස් කහ සාදික්කා වාසාවාසි කරදමුංග ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ.

ආනයනය හා අපනයනය පාලන රෙගුලාසි යටතේ ඊට අදාළ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ලබා දුන් තීන්දුවකට අනුව ආනයන හා අපනයන පාලන ජනරල්වරයාගේ අනුමැතියට යටත්ව මේ අනුව මෙම කුළුබඩු ආනයනය කිරීමට අවසර හිමිව ඇත.

මෙලෙස ආනයනය කරන ද්‍රව්‍ය සඳහා දේශීයව සියයට තිස්පහක අවම අගයක් එකතු කිරීමෙන් අනතුරුව ප්‍රතිපනයනය කිරීම සඳහා අවසර හිමිවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

2023 වර්ෂයේ ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබූ අතර ආයෝජන ඇමතිවරයා විසින් පසුගිය වසරේ දෙසැම්බර් 06 වැනි දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව තෝරාගත් කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමට මුදල් අමාත්‍යංශය අවසර ලබා දී තිබේ.

ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවසර හිමිවන්නේ ආයෝජන මණ්ඩලයේ නිර්දේශ මත අනුමත කරන ලද ව්‍යවසායකයන්ට පමණක් වන අතර ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළ අවසන් තීරණය ගැනීමේ බලය ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා වෙත පවරා ඇති බවද මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *