පාසල් කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන වාර්ෂික රග්බි තරඟ අතරින් පැරණිම මෙන්ම වැඩි දෙනෙකුගේ අවධානය දිනාගත් තරගාවලිය වන බ්‍රැඩ්බි පළිහ තරගයේ දෙවන අදියරය අද (05) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණය මේ දී පස්වරු 4 ට ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ හැත්තෑ හත් වැනි වරට වන අතර මෙතෙක් පැවති තරගාවලි වලින් ත්‍රිත්ව විදුහල ජයග්‍රහණය 39 ද රාජකීය විදුහල ජයග්‍රහණ 35 ක්ද ලබා සිටී.

මෙම තරගාවලියේ පළමු අදියරය ජූලි මස විසි දෙවැනි දා පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහලේ රග්බි ක්‍රීඩාංගනයේදී පැවති අතර ඉන් ලකුණු 13-10 ක තියුණු ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල සමත් විය. එහි පළමු අදියරේ අවසානයේ රාජකීය විදුහල ලකුණු දහයක් රැස් කළ ද, එහිදී දඩුවම් පහරක් සාර්ථක කරගැනීමට ත්‍රිත්ව විදුහල සමත් වීමත් සමඟ තරගයේ ජය ඔවුන් සතු විය.

මෙවර අන්තර් පාසල් රග්බි ලීගයෙ මූලික වටයේදී සහභාගිවූ තරග 6න් 4ක් ජයගත් රාජකීය විදුහල ප්‍රසාද ලකුණු හයක් ද සමග ලකුණු 26ක් ලබා සුපිරි වටයට සුදුසුකම් ලබා ගත්තේය.එහෙත් සහභාගි වූ තරග පහෙන් තුනක් ජයගත් ත්‍රිත්ව විදුහලට සුපිරි වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය. මූලික වටයේදී ත්‍රිත්ව විදුහල සහ සහිරා විදුහල අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයට ත්‍රිත්ව විදුහල සහභාගී නොවීම හේතුවෙන් සහිරා විදුහලට නිතර ජයක් හිමිවිය.

ත්‍රිත්ව විදුහල අවසන් වරට බ්‍රැඩ්බි පළිහ ජයගත්තේ 2014 වසරේදී තරින්ද රන්වත්තෙ ගේ නායකත්වය යටතේය. 2015 වසරේ දී භානුක ගමගේ ගේ නායකත්වය යටතේ බ්‍රැඩ්බි පළිහ ජයගත් රාජකීය විදුහල එතැන් පටන් මේ දක්වාම බ්‍රැඩ්බි තරගාවලියේ අපරාජිතව සිටී. 2016 වසරේ ලකුණු 35 – 35 ක් ලෙස අදියර දෙක සමව අවසන් විය. 2020 සහ 2021 වසරවලදී කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය නොපැවැත්වු අතර පසුගිය වසරේ දී (2022) කවින් සසන්ග ගේ නායකත්වය යටතේ රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ දිනාගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *